මහර සෙනෙහසේ නත්තල් සැමරුම 2025

කතෝලික ආගමේ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ප්‍රජාවට පුළුල් අවබෝධයක් ලබාදීම හරහා ජාතික සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සහ රටේ අනාගත සංවර්ධනයට සක්‍රීයව දායක විය හැකි, නිවැරදි දැනුම, ආකල්ප සහ කුසලතාවලින් පිරිපුන්, සමාජ සංවේදී අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කරන ලද “මහර සෙනෙහසේ නත්තල් සැමරුම – 2025” වැඩසටහන 2025.12.23 (අඟහරුවාදා) මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උත්කර්ශවත්ව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන් දේවමාතා කතෝලික දේවස්ථානයේ අති ගෞරවණීය ගිහාන් පීරිස් පියතුමා විසින් නත්තලේ සැබෑ අරුත සහ සංහිඳියාවේ වැදගත්කම පිළිබඳව වටිනා අනුශාසනාවක් සහ දේශනයක් පවත්වන ලදී. විවිධ ජාතීන් සහ ආගම් අතර අන්‍යෝන්‍ය ගරුත්වය සහ සහෝදරත්වය වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් මහඟු පිටුවහලක් වූ බව විශේෂයෙන් අවධාරණය කළේය.
නත්තලේ සැබෑ අරුත වන්නේ බෙදාහදා ගැනීම සහ ආදරය පිරිනැමීම බව ප්‍රායෝගිකව විදහා දක්වමින්, මෙහිදී සහභාගී වූ දරුදැරියන් වෙනුවෙන් විශේෂ නත්තල් ත්‍යාග පිරිනැමීමක් ද සිදු කරන ලදී. කිතුණු දහමේ ඉගැන්වෙන පරිත්‍යාගශීලී බව සහ සහෝදරත්වය දරුවන්ගේ සිත් තුළ අර්ථවත් ලෙස රෝපණය කරමින් සිදු කළ මෙම ත්‍යාග ප්‍රදානය, උත්සවයට එක් වූ දරුවන්ගේ මුවඟට සිනහවක් මෙන්ම හදවත්වලට මහත් ආනන්දයක් ද එක් කළ සුවිශේෂී අවස්ථාවක් විය.